මොසේසෝර්
ජුරාසික් සහ ක්‍රිටැසියස් අවධි වල උරගයන් පරිණාමික උච්චස්ථානයකට පැමිණි බව හැමෝම වගේ දන්න කාරණයක්. ඩයිනෝසරයන් ලෙස විකරණය වෙමින් ඔවුන් පෘථෘවිය පුරාම ප්‍රමුඛ සත්ව වර්ගයට පත්වුනා. ඒ කාලේදිම ඔවුන්ගෙ වර්ගයා ඉහල ආකාසයත් තමන්ගෙ අණසකට නතු කරගත්තා. මේ සියල්ලම ගොඩබිම තුල වෙද්දි සාගර කලාපයන් තුල තවත් සත්ව කාණ්ඩයක් ප්‍රමුඛයන් වීමේ ගමන අරඹලයි තිබුනේ. මේ සටහන ඔවුන් ගැන.
1764 වර්ශයේදි නෙදර්ලන්තයේ මස්ත්‍රිහ්ට් (Maastricht) ප්‍රදේශයේ මියුස් නදිය අසබඩ හුණුගල් පතලකින් ප්‍රථම වතාවට ලෝකයට නිරාවරණය වෙනවා දැවැන්ත සත්වයෙකුගෙ ෆොසිල. මියුස් නදියට ලතින් භාෂාවෙන් භාවිතාවන වදනය 'මොසා'. 'සෝරස්' කියන්නෙ ග්‍රීක භාෂාවෙන් 'උරගයා'. මොසා නදිය අසබඩ උරගයා ලෙස භෞතීස්මය ලබනවා "මොසෙසෝර්".
මුල්කාලීන ක්‍රිටැසියස් අවධියෙදි ජීවත් වුන අර්ධ ජලජ වාසී උරගයෙක් වෙන ඒයිජියලෝසෝරිඩේ කියන උරග කාණ්ඩය පසුකාලීනව පරිණාමය වෙනවා සම්පූර්ණ ජලචර ජීවින් බවට. මේ නව ජීවින් තමයි මොසේසෝරයන්. දැන් ටෙක්නිකලි මේ සතුන් උරගයන්, හැබැයි පූර්ණ ජලජ ජීවිතයකට කොතරම් අනුවර්තනය වෙනවද කිව්වොත් සාමාන්‍යයෙන් උරගයන් සතු බිත්තර දැමීමේ හැකියාව පවා මොසේසෝරයන්ගෙ වෙනස්වීමකට ලක්වෙනවා. ඔවුන් වැඩුණු පැටවුන් බිහිකිරීමක් දක්වා අනුවර්තනයන් දක්වනවා.
දැන් අමතක නොකල යුතයි මේ 'මොසේසෝර්'/ 'මොසේසෝරස්' වගේ නම් වලින් හැඳින්වුවට මොවුන් සමස්ථ සත්ව කාණ්ඩයක්. මේ කාණ්ඩය යටතෙ උපරි වර්ගම 40 ක් පමණ මේ වන විට හඳුනගෙන නම් කරලා තියෙන්නෙ. විශේෂ ප්‍රමාණය ඊට සෑහෙන වැඩී.
මොවුන් අඩි 3 ක් පමණ වන Dallasaurus turneri විශේෂයෙ සිට දැවැන්ත අඩි 60 ක් පමණ වන Mosasaurus hoffmannii විශේෂය දක්වා විවිධත්වයක් තිබුණ සත්ව කොට්ඨාසයක්.
බැඳි පටල සහිත අත් පා, ශරීරය අනාකූල හැඩයක් දැරීම, වල්ගය ප්‍රදේශය හබලක් ආකාරයෙන් පරිණාමය වීම ආදී ජලචර ජීවිතයකට ඔබින අනුවර්තන රාශියක් මොවුන්ගෙ පිහිටනවා. මොවුන්ට ඉතා වේගයෙන් හඹා ගොස් පහර දීමේ හැකියාව පැවති බවයි වර්තමානයේදි පවතින විද්‍යාත්මක මතය.
දැන් මේ මොසෙසොර්ලගෙ ප්‍රධානම ආහාරය තමයි ඇමොනිටාවන් (ඇමොනිටාවන් ක්‍රිටැසියස් යුගයෙන් බහුලව ලැබෙන ෆොසිලගත සත්වයෙක්). මීට අමතරව විශාල මෝරුන් වගේම තමන්ගෙ විශේෂයෙම සාමාජිකයන්ව පවා ආහාරයට ගෙන තිබෙනවා.
වර්තමානයේදි ලැබෙන ෆොසිල සටහන් වල ඇතැම් මොසෙසෝරයන්ගෙ කපාලය හා අස්ථි ෆොසිල මත තිබෙන දත් පහරවල් හඳුනගන්න පුළුවන් වෙනත් මොසේසෝරයෙකුගෙ බවට.
මේ ප්‍රාග්ඓතිහාසික සත්වයගෙ ෆොසිල ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් හමුවෙනවා. ඒකට හේතුව ගොඩබිම ජීවත්වුන සතුන් එක් එක් ස්ථාන වලට සීමා වෙද්දි මොසේසෝරයන් සාගරය පුරාම සීමාවීමකින් තොරව පිහිනා යෑමට හැකි වු නිසා.
ක්‍රිටැසියස් යුගයෙ අවසාන වසර මිලියන විස්සක පමණ කාල පරිච්ඡේදය ගත්තම සාගරය තමන්ගෙ සම්පූර්ණ අණසකට නතු කරගන්න මොසේසෝරයන්ට හැකිවුනා. ඒ වෙද්දි සාගර ආහාර ජාල වල ඉහල පුරුක්වග ස්ථානගත වෙලා හිටපු ඉක්තියෝසෝර්, ප්ලෙසියොසෝර් වැනි ජලජ උරගයන් කෙමෙන් නශ්ඨව යද්දි සාගරයේ බිහිසුණුම විලෝපිකයා බවට පත්වුනේ මොවුන්.
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයෙ ඉන්න ජලජ ඩයිනෝසරයත් මේ මොසේසෝරයෙක්. ඒකෙදි සැබෑ සත්වයාව මඳක් විකෘති කරලා තිබ්බට නියම ස්වරූපයට සෑහෙන සමානයි. හැබැයි චිත්‍රපටයෙ වගේ අහසට පැනීමේ හැකියාවනන් ඔවුන්ට තිබීමට හැකියාවක් නෑ. ඒ පෘශ්ඨීය සහ උදරීය වරල්වල තිබෙන යම් යම් වෙනස්කම් සහ බර වැනි හේතුන් නිසා.
කෙසේ නමුත් ක්‍රිටැසියස් යුගයෙ ජීවත්වුන බිහිසුණු විලෝපිකයෙක් බවනම් සත්‍යක්. මහා ක්‍රිටැසියස් නශ්ඨවීමත් සමඟම පෘථෘවියෙ මොසෙසොර් පරිච්ඡේදය නිමා වෙනවා. යුරෝපා සහ ඇමරිකානු කෞතුකාගාර සෑම එකකම පාහේ මේ සත්වයන්ට අයත් ඉතාමත් පැහැදිලි ෆොසිල නරඹන්න පුළුවන්.
Comments
Post a Comment